පාසල් පුවත් ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ ගිවිසුමකට ජනපති අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ ගිවිසුමකට ජනපති අත්සන් තබයි

Added By : Vidubima Admin
Date : Oct 17, 2023 07:56 pm
Views :

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට අද ජනාධිපතිවරයා අත්සන් තැබීය.

චීන සංචාරය අතරතුර අද ජනාධිපතිවරයා බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදී මෙම ගිවිසුමට අත්සන් තැබීය.

චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණි.

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

තම සමාගම දැනටමත් තාක්ෂණ හා යටිතල පහසුකම් සැපයිමේ කාර්යයට අමතරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් සමගම අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන් මෙවර හුවාවි කේන්ද්‍රස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට බවයි.

ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආර්ථිකය සමගම ලාංකේය පුරවැසියන්ද ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර හුවාවි සමාගම විසින් සිදුකරන ජාත්‍යන්තර සේවාවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නවතම තාක්ෂණ ක්‍රමවේදයන් සහ උපකරණ පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැනුවත් කෙරුණි.

-derana-

Recently Added News