පාසල් පුවත් සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කිරීම ඇරඹේ - විභාග දෙපාර්තමේන්තුව
සා/පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කිරීම ඇරඹේ - විභාග දෙපාර්තමේන්තුව

Added By : Vidubima Admin
Date : May 17, 2023 07:09 pm
Views :

සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්ර මහතා සඳහන් කළේ, පසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් යොමු කර ඇති බවයි.

විභාග ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයන්හි මාධ්‍ය ජාතික හැඳුනුම්පත් අංකයෙහි උපන් දිනයේ හා නමේ වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයක් ඇතුළත් කළ යුතු වේ.

එම සංශෝධන මාර්ග ගතව සිදු කිරීමට ද පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ලබන 24 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එම සංශෝධන onlineexam.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කළ හැකියි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන හා වැඩමුළු පැවැත්වීම ලබන 23 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මීට අමතරව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් වනු ඇති.

මෙම නියෝග කඩ කරන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳ ළඟම පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ සිය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනි දා ආරම්භ වන අතර එය අවසන් වන්නේ ජුනි මස 08 වැනි දායි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අයැදුම්පත් ඉදිරිපත් කර නොමැති සිසුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් එම අයැදුම්පත් යොමු කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව එම අයැදුම්පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර සිය පාසලේ විදුහල්පති මගින් හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එම අයැදුම්පත්‍රය භාර දිය යුතුයි.

අයැදුම්පත්‍ර යොමු කර ඇතත්, මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති සිසුන් ඒ පිළිබඳ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු වේ.

ඒ සඳහා පහත දුරකතන අංක දෙක හඳුන්වා දී ඇත.

011 5 22 61 00

011 5 22 61 26

-news1st-

Recently Added News